700x300_fit_1920_BANNER

කෘෂිකාර්මික රටක් වන ශ්‍රී ලංකාවේ, කෘෂි කර්මාන්තයේ ව්‍යාප්ති කටයුතු සඳහා අද විවිධ මාධ්‍යයන් හා විවිධ ක්‍රමවේද භාවිතා කරයි. දේශන, පුහුණු පන්ති, ප්‍රායෝගික වැඩමුළු, ප්‍රදර්ශන මෙන්ම විද්‍යුත් මාධ්‍ය ආදී විවිධ මාධ්‍ය හරහා සිදුකරන මෙම ව්‍යාප්ති ක්‍රම වේදයන්ට අලුතින්ම එකතුවූ ක්‍රමවේදය ගාස්තු රහිත කෘෂි උපදෙස් සේවාවයි. ඉන්දියාව, බංගලාදේශය වැනි ලෝකයේ බොහෝ රටවල තම කෘෂිකාර්මික ව්‍යාප්ති කටයුතු සඳහා දුරකථන සේවාව භාවිතා කරන අතර 2006 වසරේ සිට ශ්‍රී ලංකාවද ඒ සඳහා එක්වීම ලාංකික කෘෂිකර්ම ව්‍යාප්තියේ නව නැම්මක් ලෙස සැලකිය හැක.

 

වසර 2006 පෙබරවාරි මස 23වන දින කෘෂිකර්ම සංවර්ධන අමාත්‍යාංශය මඟින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ති හා පුහුණු අංශය යටතේ ගන්නොරුව ශ්‍රව්‍ය දෘෂ්‍ය මධ්‍යස්ථානයේදී නිල වශයෙන් ආරම්භ කරන ලද මෙම සේවාවේ දැනට ලංකාවේ පවතින කෘෂිකර්ම ව්‍යාප්ති කටයුතු සඳහා මහඟු අත්වැලක් සපයයි. ගොවියාට තම කෘෂිකර්මික ක්ෂේත්‍රයේදී, ගෙදරදොරේදී ඇතිවන කෘෂිකාර්මික තාක්ෂණික ගැටළුවලට අදාල ක්ෂේත්‍ර නිලධාරියකු හමුවීමට යන තෙක් මෙම සේවයේ ක්ෂණිකව උපදෙස් ලබාගැනීමට හැකිවීම ඉතා ප්‍රයේජනවත් වී ඇත. මීට අමතරව පාසල් සිසුන්, විශ්වවිද්‍යාල සිසුන්, කෘෂි ව්‍ාරික ප්‍රජාව හා වෙනත් ක්ෂේත්‍රවල නියැලී සිටින බොහෝ දෙනෙකු තම කෘෂිකාර්මික සේවාව සපුරාගැනීම සඳහා දැනට මෙම සේවාව භාවිතා කරයි.

 

දුරකථන අංක 1920 ක්ෂණික ඇමතුම් අංකයක් මේ සේවාව සඳහා ලබාදී ඇති අතර එම සේවාව “ගොවි සහන සරණ සේවාව” ලෙස නම්කර ඇත. ජංගම දුරකථන ඇතුළු ඕනෑම දුරකථනයකින් අංක 1920 ඇමතීමෙන් දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිට මෙම සේවාවට සම්බන්ධවිය හැකිය. දුරකථන ඇමතුම ලබාගන්නා තැනැත්තාට කිසිම ගාස්තුවක් අය නොවීම මෙහි ඇති විශේෂත්වන වන අතර දැනට සතියේ දින වල පෙරවරු 8.30 සිට පස්වරු 4.15 දක්වා මේ උපදේශන සේවාව ක්‍රියාත්මක වේ. දිවයිනේ විවිධ ප්‍රදේශවල වසර ගනනාවක ක්ෂේත්‍ර අත්දැකීම් සහිත කෘෂිකර්ම උපදේශක නිලධාරී මණ්ඩලයක් මේ උපදේශන සේවයෙහි යෙදී සිටින අතර කෘෂිකාර්මික ගැටළුවලට අමතරව පොල් වගාව, අපනයන බෝග සහ සත්ව පාලනය පිළිබඳ උපදෙස් ලබාදීම සිදු කෙරේ. මෙම සේවාවට ලැබෙන විවිධ තාක්ෂණික ගැටළු සඳහා එම මොහොතහිම අවශ්‍ය උපදෙස් දීමට මෙම කාර්ය මණ්ඩලය ක්‍රියාකරන අතර ක්ෂණිකව පිළිතුරු ලබාදීමට අපහසු ගැටළුවලට එම දිනය තුලම අවශ්‍ය උපදෙස් ලබාදීමට හැකි සෑම උත්සාහයක්ම ගනු ලබයි. කෙසේ වෙතත් ක්ෂණික පිළිතුරු ලබාදීමට අපහසු ගැටළු සඳහා පැය 72ක් ඇතුලත අදාල තොරතුරු අමතන්නා වෙත ලබාදීමට කාර්ය මණ්ඩලය බැදී සිටී. උපදෙස් ලබාදීමට අපහසු ගැටළු වෙනත් අදාල පර්යේෂණ ආයතන වෙත යොමු කිරීමට හෝ ඒ සඳහා මඟපෙන්වටමේ සේවාව ක්‍රියා කරනු ලබයි. ලැබෙන ඇමතුම් සියල්ල දෛනිකව ඒ ඒ විෂයන් යටතේ හා දිස්ත්‍රික්ක යටතේ පරිගණකගත කරන අතර ලැබෙන දත්තයන් අදාල පර්යේෂණ ආයතන හා සියලුම පළාත් කෘෂිකර්ම අධ්‍යකෂකවරුන් වෙත ඔවුන්ගේ දැනගැනීම හා අවශ්‍ය කටයුතු ඇතොත් ඒ සඳහා මාසිකව යොමුකිරීම සිදුකරනු ලබයි.